වෙනසක්

ඇත්තෙන්ම මේ අවස්ථාවේ අපට වෙනසක් අවශ්‍යද? වෙනසක් අවශ්‍ය නම් ඇයි? මට තේරෙන විදිහට නම් අපට වෙනසක් දැන් අවශ්‍යව ඇත. ඒ වෙනසට හේතු සාධක ඇත. මම මුළ සිටම පටන් ගන්නම්.
1.මහින්ද චින්තනය එළි දක්වන දවස් වල මම ඒකට ගොඩක් කැමැත්තෙන් හිටියේ. ඒ campaign එකේ පාවිච්චි කරපු music 1 නිසා වෙන්නත් පුළුවන්. :)  මහින්ද චින්තනයේ දැක්වෙන විදිහට එතුමා බලයට පත් වුනහම ලංකවේ විධායක ජනාධිපති ධූරය අවලංගු කරන බවට ප්‍රතිඥාවක් එහි අඩංගු වුණා(ලු). දැන් එතුමා තර්ක කරන්නෙ කොටි ඩයස්පෝරාවට මුහුණ දීමට අවශ්‍ය නම් විධායක ජනාධිපති ධූරය අත්‍යාවශ්‍යයි කියාය. නමුත් ලෝකෙට ලොක්කා ඇමරිකාවටවත් ඔය විධායක ජනාධිපති ධුරය නැතුව යුද්ධ කීයක් කරන්න පුළුවන් වුණාද? අපි අනුමානයක් හැටියට විධායක ජනාධිපති ධුරය අවශ්‍යයයි කියමුකො. ඉතින් එහෙමයි කියල ඔය ධුරය අහෝසි කරන්න ඕනෙ කිව්ව පුද්ගලයින් ඇයි ඒක තවමත් තම සියතේ තබාගෙන ඉන්නෙ. අවම වශයෙන් වෙන අයෙකුට ඔය තනතුරට තරඟ කරන්න දීල යන්න තිබ්බනෙ. (ඔය කොටි ඩයස්පෝරාවට මුහුණ දෙන්න පුළුවන් ජන නායකයෝ ආණ්ඩුවේ ඕනෙ තරම් ඉන්නෙ.

2. අපි දන්නා ආකාරයට ලංකාවේ නවතම දුර මැනීමේ ව්‍යවහාර ඒකකය "මහින්ද board" ය.  ඒ තරමටම එතුමාගේ පිළිරුව රැගත් බැනර්, කටවුට් වලින් අපේ රටේ මහාමාර්ග අලංකරණය වී ඇත. මෙය අලවන විදිහ ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන විදිහට කතා කරන්න මට සාක්ෂි නොමැති නිසා මම අලවන්නෙ කවුද කොහොමද කියන දෑ ගැන දන්නෙ නැහැ. විපක්ෂයේ අය කියන විදිහට නොවී ඒක සාධාරණ ක්‍රමයකට වෙනවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් හිනා යන කතාව වනුයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා බැනර්, කටවුට් ඉවත් කිරීම නිසියාකාරව සිදු නොවීම පිළිබඳ TNL නාලිකාව ප්‍රශ්න කළ විට එතුමා දුන් පිළිතුරය. එතුමාට අනුව නාම යෝජනා බාර දීමෙන් පසු දින සිට ඇලවූ බැනර්, කටවුට් පමණක් ගැලවීමේ හැකියාව පමණයි පොලීසියට තිබෙන්නේ. නමුත් මෙය ශෝක විය යුතු කාරණයක් නොව, මක් නිසාද යත් බැනර්, කටවුට් ඇලවූ දින තීරණය කිරීමට අවශ්‍ය -විකිරණ ද්‍රව්‍ය විකිරණශීලීත්ව පරීක්ෂාව (එම බැනර්, කටවුට් වල අඩංගු සංස්ථානිකවල අර්ධ ජීවිත කාලය අනුව කරන පරීක්ෂාව)- පරීක්ෂණය ඉටු කිරීමට අවශ්‍ය දැනුම, යන්ත්‍ර සූත්‍ර පොලීසියට ලැබී ඇත. මෙය ඉතා ජුගුප්ත්සාජනකය. මෙවන් ප්‍රකාශවලින් රටක ජනතාවට රැවටිය හැකියි යැයි එතුමා සිතන්නේනම් එතුමා සැබෑ බුද්ධිමතෙකි.

3. මේ රට මාධ්‍ය නිදහස අතින් දකුණු අසියාවේ අවසන් ස්ථානය ගත් බව මේ ළඟදී හෙළි විය. මෙයද ඉතා සතුටුදායක තත්ත්වයකි. කෙටියෙන්ම පවසනවානම් අද ආණ්ඩු විරෝධී ප්‍රකාශයක් සමාජ ජාලා වෙබ් අඩවියක ප්‍රකාශ කිරීම යනු වරදකි. මේ අසන්න දිනකදී මගේ මිතුරෙකු fb හි post එකක් share කර ඇත. එහි දැක්වූයේ ඡන්දයට පසු මහින්ද මාමා යන ප්‍රකාශයයි. එයට අදාළ රෑපය ලෙස මහින්ද මැතිතුමාගේ රැව ගොවියෙකු ලෙස edit කර ඇත. මාගේ මිතුරා මෙය share කර මිනිත්තු කිහිපයක් යාමට පෙර ඔහුගේ පියා ඔහුට දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ වහාම මෙය ඉවත් කරන ලෙසයි. එයට හේතුව මම ඔබට පැහැදිලි කර දිය යුතු නැත. ඉතින් මෙවන් මාධ්‍ය නිදහසක් ඇති රටක ජීවත් වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්ද? මෙරට මාධ්‍ය නිදහස එදා රුසියාවේ තිබූ තත්වයටත් වඩා අන්තවාදී වී ඇත.

ඉතින් දැන් ඔබ හිතන්න. අපට වෙනසක් අවශ්‍යද? නැද්ද? තීරණය ඔබ සතුය.

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City