පරිසරයට වටිනාකමක් දීම

 "මේ පරිසරවේදියො හිටියොත් මේ රට කවදාවත් දියුණු කරන්න වෙන්නෙ නැහැ."


 

උඩ image එකේ තියෙන්නෙ ප්‍රභාසංස්ලේෂණ සූත්‍රය. අපට හුස්ම ගන්න ඔක්සිජන් ලැබෙන්නේ ඔය සූත්‍රයේ තියන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ශාක අත්‍යාවශ්‍යයි. මේ ක්‍රියාවලියෙන් තමයි මිනිස්සු ඇතුළු සියලු සතා සිවු පාවුන්ගෙ පැවැත්ම ආරක්ෂා කරන්නෙ. ඒ නිසා තමයි ගහ කොල මිනිසුන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය වෙන්නෙ. මේකත් එක්ක අපි ගහ කොල වල ද්‍රව්‍යමය වටිනාකම ගණනය කරන විදිහ ගැන හිතන්න සිද්ධ වෙනවා.

සාම්ප්‍රදායික ව අපි යම් කිසි පරිසර පද්ධතියකට වටිනාකමක් දෙනකොට සලකා බලන්නෙ ඒක විකිණීමෙන්, ඒකෙන් කරන නිෂ්පාදනය විකිණීමෙන් අපට ලැබෙන ආදායම ගැන විතරයි. උදාහරණයක් විදිහට විල්පත්තුව කපල ඒකෙ ලී ටික විකිණීමෙන් ලැබෙන ආදායම (හා ගෙවල් බෙදල ගන්න ඡන්ද ටික), සිංහරාජය මැදින් පාරක් කපල සංචාරකයෝ ප්‍රවාහනය කිරීමෙන් ලබා ගන්න ආදායම (හා ලබා ගන්න ඡන්ද ප්‍රමාණය) වගේ දේවල් දක්වන්න පුළුවන්.

 හැබැයි ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට බොහෝමයක් ආයතන සහ රටවල් පරිසරයේ වටිනාකම පිළිබඳ නිර්ණායක ගැන අලුතින් සලකා බලන්න තීරණය කරල තියනවා. සාමාන්‍යයෙන් පරිසර පද්ධතියක වටිනාකම කොටස් 3කට බෙදන්න පුළුවන්.

  1. Use Value (භාවිත වටිනාකම)- මේක තමයි සාම්ප්‍රදායික නිර්ණායකය. අපි කලින් කිව්වා වගේ යම් කිසි පරිසර පද්ධතියක් විකුණල, දඩ මස් ටිකක් විකුණල ගන්න මුදල මේ ගොඩට දාන්න පුළුවන්. මේක තමයි සාම්ප්‍රදායික ව පරිසරයක වටිනාකම නිර්ණය කරන නිර්ණායකය.
  2. Non-Use Value (සංරක්ෂණ වටිනාකම)- දෙවැනි නිර්ණායකය තමයි පරිසර පද්ධතියක් ආරක්ෂා කිරීමෙන් ලබාගන්න ආදායම. උදාහරණයක් විදිහට අපි නකල්ස් කැලේ ආශ්‍රිත පරිසර පද්ධතියක් ආරක්ෂා කිරීමෙන් සංචාරක කර්මාන්තය හරහා එන ආදායම දක්වන්න පුළුවන්. මේකත් මූල්‍යමය වටිනාකමක් හැටියට දක්වන්න පුළුවන්.
  3.  Future Value (අනාගත වටිනාකම)- තුන් වෙනි නිර්ණායකය තමයි පරිසර පද්ධතියක් අනාගතයට ඉතුරු කරල ඒකෙන් ගන්න වටිනාකම. ඇතැම් විට අපි දැනට සොයා ගෙන නැති ප්‍රයෝජනයක් ගස් වැල් වලින්, සතුන්ගෙන් ලබා ගන්න පුළුවන් කියල හොයා ගන්න පුළුවන්. හැබැයි අපි වර්තමානයේ දී ඒ සියල්ල විනාශ කරනවා නම් අනාගතයේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැහැ.

      අපි දකින විදිහට ලංකාව තවම පරිසරයක වටිනාකම හොයන්නෙ භාවිත වටිනාකමින්. එතැනින් එහාට යන්නෙ තමන්ට දේශපාලන වාසියක් හෝ පෞද්ගලික වාසියක් ඇති වෙලාවට විතරයි. ඒ නිසාම තමයි රටේ එක් කොටසක් විල්පත්තුව දැකල නිහඬව හිඳින්නේ සහ සිංහරාජය දැකල කෑ ගහන්නේ. ඒ නිසාම තමයි රටේ තව කොටසක් විල්පත්තුව ගැන කතා කරල, සිංහරාජය ගැන නො දැක්ක වගේ ඉන්නෙ.

දූපතක් හැටියට ගෝලීය උෂ්ණත්වයේ වැඩි බලපෑමක් එල්ල වන රටක් තමයි ලංකාව. ඒ නිසා අපට වගකීමක් තියනවා පරිසරය රැක බලා ගන්න. නැත්තන් අද නකල්ස් එලි කරල වවන එනසාල් විකුණනගන්න මිනිස්සු නැති වේවි. අද සිංහරාජය මැදින් කපන පාර මැද්දෙන්, හෙට හෝටලයට ඇවිත් බලන්න සිංහරාජයක් ඉතුරු නොවේවි.

Comments

Popular posts from this blog

කළු ඉරිදාවට සහය දීම

ලොකු කල්ලියේ කතාව

Port City